ඉංග්‍රීසි භාෂාව

ඉංග්‍රීසි භාෂාව යනු එංගලන්තයත් ගිණිකොනදිග ස්කොට්ලන්තයත් මුල්කොට ගෙන, අන්ග්ලෝ-සැක්සන් යුගයේ ගොඩනැගුණු භාෂාවකි. 18 වන සියවස තුළ එක්සත් රාජධානිය අත් කරගත් ආර්ථිකමය, විද්‍යාත්මක, දේශපාලනික, සංස්කෘතිකමය හා යුධමය දියුණුව හේතු කොට ගෙනත්, 20 වන සියවස තුළ ඇමෙරිකා එක්සත් ජනපදය අත් කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් එය නූතනයේ ජාත්‍යන්තර බසක් බවට පත් වී තිබේ. ලෝක ව්‍යාපාරික කටයුතු, විද්‍යාත්මක කටයුතු ආදියේදී ප්‍රධාන භාෂාව වශයෙන් ගැනෙනුයේ ඉංග්‍රීසි භාෂාවයිසංගමය යුරෝපා .  දෙවන බසක් ලෙසත්, සම්මත භාෂාවක් ලෙසත් භාවිත වන එය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලත්, ලොව පුරා සංවිධාන බොහොමයකත් නිළ භාෂාව ලෙස භාවිතයට ගැනේ.


ජාත්‍යන්තර ඉංග්‍රීසි භාවිතය තුළ ඇති විවිධත්වය


ශ්‍රී ලංකාව 1815 දී සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් වීමෙන් පසුව ඉංග්‍රීසි ලංකාවේ පරිපාලන භාෂාව බවට පත් විය. එතැන් පටන් 1948 වන තුරුම ලංකාව ඔවුන්ගේ පාලනයට සෘජුවම ලක් වී සිටි නිසා ඒ වන විට මෙරටට ඔවුන්ගේ බසේ ආභාෂයත් සෑහෙන දුරට ලැබී තිබිණි.
ඒ අවධියේ ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රමිතිය හැටියට සැලකුණේද බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි භාවිතයයි (British English usage). ඊට හේතුව වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලොව පුරා පැතිරුණ යටත් විජිත ඇතිව ඉතා බලවත් තත්වයක පැවතීමයි. කොතරම් ව්‍යාප්ත වී තිබුණාද කියතොත් එය 'හිරු නොබසින අධිරාජ්‍යය (the Empire on which the sun never sets)' ලෙසද හැඳින්විණි. (එනම් ඕනෑම වෙලාවක එයට අයත් වූ කිසියම් කොටසකට හිරු පායා තිබිණි.)
නමුත් 1939-1945 දී පැවති දෙවන ලෝක සංග්‍රාමයේදී (Second World War, World War II) බ්‍රිතාන්‍යයට විශාල පාඩු විඳීමට සිදු විය. එමෙන්ම ඒ වන විට බොහෝ යටත් විජිතවල නිදහස ලැබීමේ ව්‍යාපාර දියත් වී තිබූ නිසා, ලෝක යුද්ධයේදී එම රටවලින් උදව් ලබා සිටි බ්‍රිතාන්‍යයට ක්‍රම ක්‍රමයෙන් ඒවාට නිදහස ලබා දීමට සිදු වූවේය. ඔවුන්ගේ අධිරාජ්‍යයේ බලය මෙසේ පිරිහී ගියේය.
මේ කාලය වන විට ඇමරිකා එක්සත් ජනපදය (United States of America, U.S.A.) ආර්ථික වශයෙන් බල සම්පන්න රාජ්‍යයක් බවට පත් වී සිටියේය. බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපයේ (Europe) අනෙකුත් රටවල්ද යුද්ධයෙන් විනාශයට පත් වී තිබීම ඇමරිකාවේ කැපී පෙනීමට තවත් හේතු විය. ඇමරිකාවත් බ්‍රිතාන්‍යට යටත්ව තිබී කලින්ම නිදහස ලබා තිබූ ජනපදවල එකතුවක් වූ නිසා එහි රාජ්‍ය භාෂාව වී තිබුණේද ඉංග්‍රීසියය. නමුත් ඔවුන් ඉංග්‍රීසි භාෂාව භාවිතා කළේ බ්‍රිතාන්‍ය සම්මතයට අනුවම නොවේ.


ඇමරිකාවේ නැගීමත් සමග ඔවුන්ගේ භාෂා ව්‍යවහාරයත් (American usage) ලොව තුළ පුමිතියක් ලෙස පිළිගැනීමට ලක් විණි. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා සමහර රටවල බ්‍රීතාන්‍ය සම්ප්‍රදායද, එනෙක් රටවල ඇමරිකානු සම්ප්‍රදායද අනුගමනය කෙරෙන්නට ගැනිනි. ශ්‍රී ලංකාවේ නම් අදටත් යොදා ගැනෙන්නේ මූලික වශයෙන් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියය. නමුත් ආර්ථික බලයත් සමග ඇමරිකාව විවිධ මාධ්‍ය ඔස්සේ අද ලෝකයේ ලබා තිබෙන සංස්කෘතික ආධිපත්‍යය (cultural dominance) නිසා ඔවුන්ගේ ව්‍යවහාරය ශ්‍රී ලංකාවටද දැන් - අඩු තරමින් විදේශීය මාධ්‍ය ඔසසේ - වැඩි වැඩියෙන් අත් දකින්නට ලැබේ. මේ සම්ප්‍රදායයන් දෙක අතර ඇති වෙනස්කම් විවිධාකාරය.

Comments

Popular posts from this blog